ඉස්ලාමීය කාන්තාව හා අධ්‍යාපනය

ඉස්ලාමය මගින් මිනිස් අයිතිවාසිකම් මනාව ආරක්ෂා කර ඇත. කාන්තාවට ඉස්ලාමය තුළ සුවිශේෂී ස්ථානයක් ද හිමිකර දී ඇත.

ඉස්ලාමයට පෙර කාන්තාවට ලබා දී තිබූ අයිතිවාසිකම් පිළිබඳව දැන ගැනීම වඩා වැදගත් වේ. ඉස්ලාමයට පෙර කාන්තාවට හිමි වූයේ ඉතාමත් පහත් තත්ත්වයකි. ගැහණු දරුවන් උපත ලැබීම පවා අගෞරවයක් ලෙස සැලකූ එම සමාජයේ කාන්තාවන්ගේ ජීවත් වීමේ අයිතිය පවා උදුරා ගත්හ. කාන්තාවකට සලකනු ලැබුවේ ඉතාමත් ඛේදනීය අයුරිනි. කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට පවා එහිදී කිසිදු බලවේගයක් නොවීය.

ඉස්ලාමය බිහිවූයේ මෙවන් පසුබිමකය. එමගින් කාන්තාවෝ ගරු බුහුමනට පත් කරන ලදහ. ඉසල්ලාමය කිසිවිටකත් කාන්තාව නිගරු කොට කතා කරන්නේ ද ක්‍රියාකරන්නේ ද නැත. ඉස්ලාමයේ ප්‍රවේශයට පෙර, එම අඥාන සමයේ කාන්තාවට එරෙහිව තිබු සියලු අඟුළුවලින් දේවදූත මුහම්මද් තුමාණෝ ඇය නිදහස් කරමින්, කාන්තාවකට ලැබිය යුතු සියලු අයිතීන් ලබා දීමටද කටයුතු කළේය. කාන්තාවකට මවක් වශයෙන්, දියණියක් වශයෙන්, භාර්යාවක් වශයෙන් සමාජයේ ඇයට හිමි විය යුතු සියළු අයිතිවාසිකම් සහ ගෞරවයන්ද දිනා දුන්හ.

ඉස්ලාමය මගින් කාන්තාවන්ට ජීවත්වීමේ අයිතියේ පටන් අධ්‍යාපන ලැබීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, යාඥා වතාවන්හි නිරතවීමේ අයිතිය, ඉපැයීමේ අයිතිය, දේපළ වලට උරුමකම් කීමේ අයිතිය, වගකීම්වල නිරතවීමේ අයිතිය, පතිවත ආරක්ෂා කරගැනීමේ අයිතිය, රැකියාවක නිරතවීමේ අයිතිය, සමාජ සේවාවන්වල නිරතවීමේ අයිතිය ආදි ලෙස විවිධ වූ අයිතීන් ලබා දී ඇත්තේය.

මේ ආකාරයට ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති අයිතීන් අතුරින් අධ්‍යයාපනය ලැබීමේ අයිතිය ඉතා වැදගත් වේ. දැනුම මූමින් වරයෙකුගේ අතින් ගිලිහි ගිය වස්තුවක් බවත් එය දුටු තැන ලබාගැනීමට ඔහු සුදුස්සෙකු බවත් හදීස් ග්‍රන්ථ වලද සඳහන් වේ. එමෙන්ම තවත් එක්තරා හදීසයක, “ඉගෙන ගනන්නෙකු වන්න, උගන් වන්නෙකු වන්න, ඉගෙන ගැනීමට උදව් කරනන්නෙකු වන්න. සතරවැන්නා නොවන්න “යනුවෙන් සඳහන් වේ. මෙම හදීසය මගින් ද ඉගෙනීම, ඉගැන්වීම මෙන්ම අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට සහය වීමේ වැදගත්කම ද ඉස්ලාමය තුළ අධ්‍යාපනයට ලබාදී ඇති වැදගත්කම ද අපට වටහා ගත හැකිවේ.

දැනුම සොයා යෑම ස්ත්‍රී පුරුෂ සියලු දෙනාගේ අනිවාර්ය වගකීමක් බව ඉස්ලාමය අවධාරණය කරයි.
වරෙක දේවදූත මුහම්මද් තුමාණෝ මෙසේ පවසා ඇත “යමෙක් අධ්‍යපනය සොයා ගමන් කරන්නේ නම් ඔහුට ස්වර්ගයෙහි මඟ පහසු වනු ඇත.” මෙසේ හදීස් ග්‍රන්ථවල පමණක් නොව උතුම් කුරානයේ පවා අධ්‍යාපනයේ වැදගත්කම ගෙනහැර දක්වා ඇත.”මැවූ ඔබගේ පරමාධිපතිගේ නමින් කියවන්න”. උතුම් කුරානයේ මෙම පළමු වැකියෙන් පවා අධ්‍යාපනයේ වැදගත්කමත් අධ්‍යාපනය සෙවීම මහ මහිමාන්විත අල්ලාගේ නාමයෙන්, එනම් ඊමානීය පදනමකින් සිදුවිය යුතු බවත් අවධාරණය කරයි. තවත් උතුම් කුරානය වැකියක අධ්‍යාපනයේ වැදගත්කම මෙලෙස විග්‍රහ කර දක්වයි.

“ඔබ නොදන්නා දේ දැනුමැති අයගෙන් අසා දැනගන්න.” (උතුම් කුරානය: 16:43). එකල ලෝක ජනයා මහා මහිමාන්විත අල්ලාහ් ප්‍රතික්ෂේප කරමින් අඥානයේ ගිලී අවිචාරවත් දිවියක් ගත කරන්නට වූ කල, ලොවට ආලෝකයක් වශයෙන් එවනු ලැබූ දේවදූත මුහම්මද් තුමාණෝ උතුම් කුරානය මගින් අතිමහත් දැනුම් චින්තනයක් සිදු කළහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මධ්‍යම යුගයෙදී අඥානය නමැති අදුරෙහි ගිලී සිටි ලෝක ජනයා අධ්‍යාපනය නැමති ආලෝකයෙන් බැබලුනහ. ලොව මෙවැනි අදවීතීය වාර්තාවක් ඉටුකළ උතුම් කුරානයේ මග පෙන්වීම මගින් අධ්‍යාපනය නැමති ආලෝකය ලබාගැනීම අප සැමගේ අනිවාර්යය වගකීමකි. මේ ආකාරයට ඉස්ලාමය මගින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අධ්‍යාපනය ලැබීම සියලු දෙනාගේම අනිවාර්ය අයිතියක් බව තහවුරු කරයි.

මේ අතරින් කාන්තාවක් අධ්‍යාපනය ලැබීම වඩාත් සුවිශේෂී වැදගත් කරුණක් ලෙසට පවතී. මන්ද පසු ප්‍රවේණිගත දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවයත් සදාචාර සම්පන්න පිරිසක් බවට පත් කිරිමෙහි වූ මහඟු වගකීම ඇය සතුව තිබීම හේතුවෙනි. “මව දරුවන්ගේ මුල්ම පාසල” යන අරාබි පිරුළුක් ද ඇත. මෙය අප සැවෝම හොඳින් දන්නා කරුණකි.
දරුවෙකුගේ සංවර්ධනය කෙරෙහි පවුල් පරිසරය බෙහෙවින්ම බලපානු ලැබේ. සාමාන්‍යයෙන් දරුවෙකු පවුලේ අනෙක් සාමාජිකයන්ට වඩා වැඩි සමීපතාවක් තම මව කෙරෙහි දක්වයි. එබැවින් යම් දෙයක් දරුවා මුලින්ම ඉගෙන ගන්නේ තම මවගෙන් වීමට වැඩි ඉඩකඩක් පවතී. එබැවින් මවගේ දැනුම දරුවා කෙරෙහි සෘජුවම බලපානු ලැබේ. මවක් දියුණු අධ්‍යාපනික මට්ටමකින් පෝෂණය වූවා නම් එය සැමට ම රුකුලකි. කාන්තාවට අධ්‍යාපනය ශක්තියක්ව ද, ආභරණයක්ව ද පවතී. ඉස්ලාමීය ඉතිහාසය විමසා බැලීමේදී, ආයිෂා තුමිය, හෆ්සා තුමිය, බින්ත් සිලා, ෆාතිමා සීර්හින්ද් යන කාන්තාවෝ ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ නම් දරා සිටියෝය. ඔවුන් වෙත විශාල පිරිස් ප්‍රමාණයක් පැමිණ අධ්‍යාපනය හදාරා ඇත. එකල සහාබී කාන්තාවන්ද මජ්ජිදුන් නබවියට පැමිණ දේවදූත මුහම්මද් තුමාණන්ගෙන් ප්‍රශ්න අසා තම දැනුම වැඩිදියුණු කර ගෙන ඇති බවට ඉතිහාසය සාක්ෂි සපයයි. “කාන්තාවන් දේවදූත මුහම්මද් තුමා වෙත පැමිණ, පිරිමින් ඔබගෙන් දැහැමි අධ්‍යාපනය ලබාගැනීමෙහි ලා අපට ඉදිරියෙන් සිටිති. එබැවින් අපටත් දැනුම ලබාදීමට එක් දිනක් වෙන්කර දෙන්න” යනුවෙන් පැවසූ විට දේවදූත මුහම්මද් තුමාණෝ කාන්තා පාර්ශවය වෙනුවෙන් දිනයක් වෙන් කරවා අධ්‍යාපනය ලබාදීමට කටයුතු කර ඇත. මෙම හදීසය මඟින්ද පෙනී යන්නේ දේවදූත මුහම්මද් තුමාණන් පවා කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් තම දායකත්වය සලසා දී ඇති බවයි. මේ ආකාරයට බැලූ කළ පැහැදිලිවම පෙනී යනේ, ඉස්ලාමය මගින් කාන්තාවට අධ්‍යාපනය ලැබීමේ මග විවර කර දී ඇති බවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාන්තාවගේ දායකත්වය සැලකූ විට ආයිෂා තුමිය ඒ වෙනුවෙන් ඉමහත් දායකත්වයක් සැලසූ බව අපට අනාවරණය කරගත හැකියි.

දේවදූත මුහම්මද් තුමගේ හදීස් වලින් සැලකිය යුතු කොටසක් වාර්තා කරන්නේ එතුමාගේ බිරිඳ වන ආයිෂා තුමියයි. ඇය දේවදූත මුහම්මද් තුමාණන්ගේ මිය යෑමෙන් පසුව ඉස්ලාමය පිළිබඳ පැන නැගුණු ගැටළු නිරාකරණය කළ උගත් බුද්ධිමත් කාන්තාවක් වූවාය.
අබූ මූසා තුමා මෙසේ විස්තර කරන්නේය. “දේවදූත මුහම්මද් තුමන්ගේ මිත්‍රයින් වන අපට එතුමන්ගේ ප්‍රකාශයක් ස්ථිර කර ගැනීමේ අවශ්‍යතාවක් ඇතිවූ විට අපි ඒ පිළිබඳව ආයිෂා තුමියගෙන් අසා දැන ගන්නෙමු. එවිට ඒ පිලිබඳව සම්පූර්ණ ඥානය ඇය සතුව තිබීම අපි දුටුවෙමු.” (මූලාශ්‍ර ග්‍රන්ථය: තිර්මිදි).

ඉස්ලාමය තුළින් කාන්තා පිරිමි දෙපාර්ශවයටම අධ්‍යාපනය ලබාගැනීම අනිවාර්ය කර තිබිය දී කාන්තාවන් ඒ සඳහා කැපවීමෙන් ක්‍රියා කළ යුතු යැයි අවධාරණය කරනු පිණිස ආයිෂා තුමිය දිනක් මෙසේ විස්තර කර සිටියාය . “ශ්‍රේෂ්ඨ කාන්තාවන් වන්නේ මදීනාවට අයත් අන්සාරි කාන්තාවන්ය. මන්ද ,ස්ත්‍රිය සතු ලැජ්ජාව දැහැමි ඥානය ලබාගැනීමට ඔවුන්ට එය බාධාවක් නොවුයේය. ” මූලාශ්‍ර ග්‍රන්ථය:බුහාරි. ඉස්ලාමය මගින් ලබා දී ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය එකල මදීනාවේ විසූ කාන්තාවන්ටද මෙසේ බාධාවකින් තොරව ක්‍රියාන්මක කළ බව අපට ඉහත නිදසුනෙන් මනාව පැහැදිලි වේ. එමෙන්ම උම්මු අයියා තුමිය, වෛද්‍යවරියක් ලෙස කටයුතු කර ඇති බවත් ඉස්ලාමීය ඉතිහාසය තුළ සඳහන් වේ.

ඉහත විමසා බැලීම් වලින් පෙනී යන්නේ ඉස්ලාමය තුළ කාන්තාවන්ටද විවිධ වූ අයිතීන් ලබාදී ඇති බවත් ඒවා ලබාගැනීමට හා ඉල්ලීමට සියලු දෙනාටම අයිතියක් ඇති බවත්ය. කාන්තාවන්ට මෙසේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමේ නිදහස් අවකාශය ඉස්ලාමය හිමිකර කර දී ඇති හෙයින් වර්තමානයේ වූවද අධ්‍යාපනය ක්ෂේත්‍රයෙහි විවිධ නිලතලයෙහි මුස්ලිම් කාන්තාවෝ තනතුරු හොබවනු ලබති. එය වර්තමානයේ දක්නට ලැබෙන්නාවු හොඳ ප්‍රවණතාවක් ලෙසට ද හැඳින්විය හැකියි. උසස් අධ්‍යාපනය ලබමින් කීර්තිමත් නාමයන්ගෙන් පිදුම් ලබන්නාවූ මුස්ලිම් කාන්තාවන් අද විරල නොවේ.

එමෙන්ම මුස්ලිම් කාන්තාවන් මෙසේ අධ්‍යාපනයේ වැදගත්කම වටහා ගෙන කටයුතු කරන විට ඇතැම් පිරිස් ඉස්ලාමය යන මුවාවෙන් ව්‍යාජ මතයන් පතුරවනු ලැබේ.” කාන්තාවන්ට ඉහල අධ්‍යපනයක් ලබාගැනීමට ඉස්ලාමය අනුමත කර නොමැති බවත්, ගැහැණු දරුවෙකු සාමාන්‍ය මට්ටමකින් ඉගෙන ගැනීම ප්‍රමාණවත් බවත්, ගැහැණු දරුවෙකු නිවසට වී සිටීම අගනා බවත්” පවසමින් ඉස්ලාමයේ නොදැක්වූ ව්‍යජ අදහස් සමාජය තුළ ව්‍යාප්ත කරනු ලබන ඇතැම් පිරිසක්ද වේ. ඔවුන්ගේ මතය වන්නේ, කාන්තාවකට ආධ්‍යාත්මික දැනුම පමණක් ප්‍රමාණවත් බවත්, ලෞකික දැනුමක් කාන්තාවකට අවශ්‍ය නොවන බවත් ය”. මුස්ලිම්වරුන් අතරම මෙසේ විවිධ මතයන් පැතිර තිබුණ ද ඉස්ලාමය කිසි විටකත් එසේ පවසා නැත. ඉස්ලාමය අවධාරණය කරන්නේ, ආධ්‍යත්මික දැනුම මෙන්ම ලෞකික දැනුම ද ලබාගැනීම කාන්තාවන්ට එක සේ වැදගත් වන බවයි. ඉස්ලාමය මගින් කාන්තාවන්ට ලබාදී ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය නිසි ලෙස වටහා ගනු ලැබු කවරෙකු වූවද මෙසේ වැරදි අර්ථකථනයක් ලබා දෙන්නේ ද නැත. එමෙන්ම කාන්තා අයිතිවාසිකම් ලබාදීම පිළිබඳව ක්‍රියා කිරීමේදී මහා මහිමාන්විත අල්ලාහ්ගේ දඬුවමට බියෙන් කටයුතු කළ යුතු බව ඉස්ලාමය අවධාරණය කරනු ලබයි.

එබැවින් ඉස්ලාමය මෙසේ ප්‍රකාශ කර තිබියදී කාන්තාවන්ගේ ඇතැම් අයිතිවාසිකම් උදුරා ගැනීම සිදු නොකල යුතුයි. ඉස්ලාමය මගින් ලබාදී ඇති අයිතීන් කවරෙකු හෝ නැති කිරීම, කප්පාදු කිරීම බරපතල වැරදි ක්‍රියාවකි. ඉස්ලාමය මගින් කාන්තාවන්ට ලබාදී ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය ආරක්ෂා කරමින් ඔවුන්ට අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය මාර්ගය සකසා දීම යහපත් කරුණකි.

තම පෞද්ගලික හා සමාජීය මතයන්, ඉස්ලාමයේ නාමයෙන් ඉස්ලාමයේ මතයන් ලෙස වැරදි අර්ථ කථන කිරීම සිදු නොකළ යුතුයි. ඉස්ලාමය මගින් ලබා දී ඇති කාන්තා අයිතිවාසිකම් මෙන්ම මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ඉස්ලාම් පවසා ඇති ඉගැන්වීම් වලට පටහැනි නොවී නිවැරදි ආකාරයෙන් ක්‍රියාකිරීමට අප සියල්ලම වග බලාගත යුතුය.

Similar Posts:

    None Found
Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *